පා-ඔක් ආරණ්‍ය සේනාසනය පුල්මුඩේ ශ්‍රී ලංකාව

මිහිඳු ලෙන

නිහඬ හුදෙකලාවක් සඳහා වූ ප්‍රාන්ත වන සෙනසුන

“ යාවකීවඤ්ච, භික්ඛවෙ, භික්ඛූ ආරඤ්ඤකෙසු සෙනාසනෙසු සාපෙක්ඛා භවිස්සන්ති, වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.”

" මහණෙනි, මහණහු යම් තාක් වන සෙනසුන්හි, අපේක්ෂා සහිතව වසන්නාහුද ඒතාක් මහණුනට වෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නම් බලාපොරොත්තු නොවිය යුතුයි."

- තථාගතයන් වහන්සේ -

මහා පරිණිබ්බාන සූත්‍රය

අරහත්ත භූමියක බවුන් වඩමු

ආකාශචාරී මහරහතන් වහන්සේලාගෙන් ශෝභමානව, ථේරවාදි බුදු දහම ලංකා ධරණී තලය තුල විරාජමානව බැබළුන අනුරාධපුර මුල් යුගයට උරුමකම් කියන මිහිඳු ලෙන වන සෙනසුන අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ, පදවි ගොවි ජනපද ව්‍යාපාරයට අයත් “ ඌරෑව” නම් කුඩා ගම් පියසට යාබදව, ඊසාන දිග ශ්‍රී ලංකාවේ ගොමරන්කඩවල- යාන් ඔය මහ වනයෙහි පිහිටා ඇත.

වසර දෙදහසක් තරම් ඈත අතීතයේ, ඒ නික්ලේශී උතුමන් පරිහරණය කල ගල් ලෙන්, පැන් පොකුණු ආදිය සංරක්ෂණය කරමින් මේ මහ ඝන වනයේ නිහඬ හුදෙකලාව අගයන  වත්මන් යෝගාවචරයන් වහන්සේලා, වෙනුවෙන් නවීන භාවනා මධ්‍යස්ථානයක අඩංගු විය යුතු මූලික පහසුකම් වන නානකාමර සහිත භාවනා කුටි, සූර්යාලෝකය මගින් ආලෝකකරණය හා වෙනත් විද්‍යුත් උපකරණ පරිහරණය කිරීමේ හැකියාවද සේනාසනය තුල දාන පහසුකම්ද සලසා දී ඇත.
අර්ථ කථා චරිය ශ්‍රීමත් බුද්ධ ඝෝෂ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින්, පස්වන ශත වර්ෂයේදී විරචිත ථේරවාදීන්ගේ භාවනා අත්පොත ලෙස පිදුම් ලැබූ “විසුද්ධි මාර්ග” ග්‍රන්ථයේ සඳහන් පිටකානුකූල භාවනා උපදෙස් හා පුහුණුවන් කාලයේ වැලිතලාවෙන් වැසී තිබෙන ලදුව, නැවත වත්මනට හෙලි පෙහෙලි කල බුරුම භාවනා කම්මට්ඨානාචරිය අති ගෞරවණීය “පාඔක් ටව්යා සියාඩෝ”  මාහිමි පානන් වහන්සේගේ භාවනා උපදේශයන්ට අනුගතව සේනාසනය පවත්වාගෙන යනු ලැබේ.