බවුන් වඩමු - අපත් සමග

මේ ජීවිතයේදීම නිවන් දැකීමේ පරම අදහසින් යුතුව, වීර්ය වඩන මහ සඟරුවනන්, පිරිමි යෝගීන් සඳහාත් සේනාසනයේ පහසුකම් නිබඳව සැපයෙන අතර සියළු දෙනාම අප සේනාසනය සඳහා ඉතා ගෞරවයෙන් පිලිගනිමු. දැනට කාන්තා යෝගීන් සඳහා පහසුකම් නොමැති බව කරුණාවෙන් සලකන්න.

මිහිදු ලෙන වනසෙනසුනෙහි භාවනාව වැඩීමට කැමති නම් පහත විද්‍යුත් ලිපිනයෙන් අපට දන්වන්න. mihindulena@gmail.com

පින්වත් ඔබගේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අප ඔබගේ වීසා අයදුම් පත සඳහා උපකාරී වීමට බලාපොත්තු වෙමු. (විදේශික පිරිස් සඳහා)

පරිසරය හා වන ජීවීන්

යාන් ඔය ප්‍රධාන ගංඟාවට සහ අතු ගංඟාවකට දෙපැත්තකින් මායිම්ව පිහිටීම නිසා ඉතා සරුවට ඝනව උසට වැඩුණු මහා වනස්පතීන්ගෙන් සේනාසනය වැසී පවතී. මේ නිසාම වියලි කලාපයට අයත් වුවද සේනාසනයේ ස්ථානීය දේශගුණ සාධක වියළි කලාපීය ලක්ෂණයන්ගෙන් යම් තරමකය වෙනස් බවක් පෙන්නුම් කරයි. සේනාසනයේ ඉහල කඳු ප්‍රදේශයට නැග ගත් කල්හි, අක්කර දස දහස් ගණනාවක් පුරාවට පැතිරුණු මහ වනයේ අසිරිය විඳිය හැකිය. අලි ඇතුන්, මුවන්, ගෝනුන්, වල් ඌරන්, සහ මොණරුන්ගෙන් සේනාසනය නිරන්තරයෙන් චමත්කාර වන අතර දිවියා සහ වලසා කලාතුරකින් සේනාසන පරිශ්‍රයට පැමිණෙති.
සේනාසනික වාසී අප සියළු දෙනා මෙම ස්වාභාවික පරිසර පද්ධතියට දැඩි ලෙස ඇළුම් කරන අතර පොලිතීන් හා ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය සේනාසන භූමියෙහි නොදමන ඔබටත් පුණ්‍යානුමෝදනා කරමු.

පිණ්ඩපාත චාරිකාව

සේනාසනික සඟ පිරිස සතියකට දෙවතාවක් පදවිය ඌරෑව ගම් පියසට මහ වන මැදින් වැටී ඇති කැලෑ මාවත ඔස්සේ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කරන අතර, නිවසක් නිවසක් පාසා පිණ්ඩපාතය   වැඩම කර කිලෝ මීටර් 8ක පමණ මුළු දුරක් පෙරළා පැමිණීමට පැය දෙක හමාරක පමණ කාලයක් ගත වනු ඇත.

ආගන්තුකව පැමිණෙන ස්වාමීන්වහන්සේලා සහ යෝගීන් පිණ්ඩපාත චාරිකාව සඳහා සහභාගී කරවා ගැනීමට අප උත්සාහවත් නොවන අතර, ඔබ කැමති නම් පමණක් සියළු සත්වයන්ට මෙත් සිත පතුරවමින් හෝ සක්මනට අනුව සිහිය පවත්වමින් මේ ඝන වනාන්තරය මැදින් කෙරෙන පිණ්ඩපාත චාරිකාවට සහභාගී විය හැකිය.

විනය හා ඇවතුම් පැවතුම්

තථාගතයන් වහන්සේ විසින් පනවන ලද විනය  ශික්ෂාවන් ඒ අයුරින්ම පිලිපැදීම හා ඒවාට අනුගතවීම අප දැඩි ලෙසම අපේක්ෂා කරන අතර උපසපන් හා සාමනේර හිමිවරුන් තම තමන් වහන්සේලාගේ ශීලයන්හි මනාකොට හික්මිය යුතුවේ. තවද භාවනායෝගී ගිහි පින්වතුන් විසින් උපෝසථ අෂ්ඨාංග සීලය සේනාසනය තුල රැඳී සිටින කාලය තුලදී සමාදන් වී රැකිය යුතු වේ.

සේනාසනස්ථ පහසුකම්

1. දානය

නිර්මාංශික හා නිර්මාංශික නොවන දෙපිරිසටම ගැලපෙන පරිද්දෙන් උදෑසන අරුණෝද්ගමනයේ සිට මධ්‍යහ්නය අතර කාල සීමාවේදී අප විසින් දාන වේල් දෙකක් පිරිනමනු ලැබේ. ( සාමන්‍යයෙන් උදෑසන 6.30 හා පෙ.ව. 11.00 ට ලෙස )

තවද සවස 5.00 ට පමණ ඖෂධීය පානයක් හෝ පලතුරු යුෂ පානයක් ලබා දෙනු ඇත.

2. කුටි සේනාසන පහසුකම්.

  • කටාරම් සහිත ගල් ලෙන්
  • සිමෙන්ති හා ගඩොලින් කල කුටි
  • වරිච්චි බිත්ති සහිත මැටිකුටි

ලෙස තුන් ආකාරයක වූ භාවනා කුටි සේනාසනය සතුව පවතී.

සේනාසනයේ භෞතික උරුමයක් වන, වසර 2000 ක පමණ අතීතයේ අනුරාධපුර මුල් යුගයේදී කටාරම් කොටා පූජා කරන ලදැයි සැලකෙන ගල් ලෙන් කිහිපයක් ද සේනාසනයේ පවතී.

එමෙන්ම නාන කාමර පහසුකම් සහිතව සිමෙන්ති හා ගඩොලින් කල නවීන සේනාසන පහසුකම්ද ඇත.

පින් ඵල සලකාගෙන අවට ගම් වාසීන් විසින් තනා දෙන ලද වරිච්චි බිත්ති සහිත මැටි කුටි කිහිපයක්ද සේනාසනය සතු වේ.

බොහෝ සෙයින් ඔබට සිමෙන්ති හා ගඩොලින් කල තනි කුටියක් ලබා ගත හැකි වන අතර ඇතැම් අවස්ථාවකදී පමණක් තවත් යොගාවචරයෙකු සමග කුටිය පරිහරණය කිරීමට සිදුවිය හැක.

කටාරම් සහිත ගල් ලෙන්

සිමෙන්ති හා ගඩොලින් කල කුටි

වරිච්චි බිත්ති සහිත මැටිකුටි

3. වෛද්‍ය පහසුකම්

ඔබගේ වෛද්‍ය අවශ්‍යතා, සෙනසුනට ආසන්නතම රජයේ රොහල් වන පුල්මුඩේ සහ පදවිය මූලික රෝහල් මගින් සපුරා ගැනීමට හැකිවනු ඇත

4. ප්‍රවාහන පහසුකම්

පුල්මුඩේ නගරයේ සිට කි.මී. 15ක් පමණ දුරින් සේනාසනය පිහිටා තිබෙන නිසා සේනාසනයට පැමිණීම සඳහා කුලී රථ ඔබගේ අවශ්‍යතාවය පරිදි සම්බන්ධ කර දිය හැක.
උපසපන් හෝ සාමනේර පැවිදි හිමිවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් සේනාසනය මගින් සැපයීමට අප උත්සහවත් වන්නෙමු.

5. විදුලි සැපයීම්

සෙනසුනෙහි සෑම කුටි සෙනසුනක්ම පාහේ සූර්ය පැනල විදුලි පහන් මගින් ආලෝකකරණයත් විද්‍යුත් උපකරණ ආරෝපණය කිරීම සඳහා පහසුකම් ද සපයා ඇත.
දානය ලබාදෙන බැතිමතුන් සඳහා වන නවාතැන්පළ සෙනසුනෙහි සිට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටා ඇති අතර එම ස්ථානය සඳහා ප්‍රධාන විදුලි සැපයුම් ජාලය මගින් විදුලි පහසුකම් සපයා ඇත.